අකාලයේ ඇද හැලෙන දිය බිඳකින් සැනසෙන්නට නම්

අකාලයේ ඇද හැලෙන දිය බිඳුවකින් පොළොව තෙමී එහි තණ ගසක් පැලවන්නේ නම් එය කිසියම් සතෙකුට ආහාරයක් වනු ඇත. එසේ සිදුවන්නේද කලාතුරකිනි. එහෙත් සෑම දුවෙකු පුතෙකුම සිතිය යුත්තේ මම මෙලොව එළිය දුටුවේ තනියම නම් මම ජීවත් වන කාලය තුළ මා වටා නෑදෑ හිතවතුන් පිරිසක් සිටිය මුත් මොවුන් මා වටා සිටින්නේ මට යමක් ඇති තාක්කල් පමණි. එහෙත් මට දුප්පත්ව රැකියාවක් නොමැතිව දුක් විඳින්නට සිදු වුවහොත් ඔවුන් මා වටා රැඳේවිද? නැත දුවේ, පුතේ නැත. එසේනම් අප උත්සාහ ගත යුත්තේ මැනවින් අධ්‍යාපනය සම්පූර්ණ කොට තමාගේ අනාගතය තමාට හැකි උසස්ම අන්දමින් ගොඩනඟා ගැනීමය. එසේ නොවුනු තැන ඔබ පරාජිතයෙක්ව දුක් වන තත්ත්වයට පත්වනු ඇත.


අප මිනිසුන්ව උපත ලැබුවේ නම් මිනිසුන් ලෙස ජීවත් වන්නට අවශ්‍යය. එසේ නොහැකි නම් මේ ජීවිතයේ ඇති ඵලය හා අරුත කුමක්ද? බලන්න, තිරිසන් සතුන්  දෙස, තිරිසන් සතුන්ගේ බුද්ධි මට්ටම මිනිසාට වඩා ඉතා පහත්ය. නමුත් ඔවුන් තම කාර්ය මනාව ඉටු කරයි. නමුත් මිනිසුන් මිනිසකුට අදාල කාර්යයන් ඉටු කරන්නේ කෙසේද? අපට වැරදී ඇති තැන මෙතැනය.

මේ සියල්ලට හේතුව නොදැනීම හා නොසැලකිල්ලය. බුදුන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ධර්මය තුළ මෙය මැනවින් දේශිතය.

අවිද්‍යාව නම් අන්ධකාරයේ බොහෝ පිරිස් අකටයුතුකම් කිරීම හේතුවෙන් සෑම සත්වයෙකුම උප්පත්තිය ලබයි. එහෙත් උප්පත්තියෙන් පසු සියල්ල තේරුම් ගැනීමට හැකියාව ඇතත් තේරුම් නොගැනීම මත අප හැම දෙනාම නැවත නැවතත් අඳුරේම ගැලෙයිග එසේම එසේ ගැලීමෙන් සසර තුළ මැරි මැරී උපදියි. අප මේ මැරීම හා ඉපදීම යන කාරණා දෙක අතර කෙතරම් ප්‍රශ්න ගැටළුවලට මුහුණ දෙනවාද?

මෙම දුක්කම්කටොළු විඳීම කෙලවර කරගන්නට අපට නොහැකිද? දුක නැති කරගන්නට අපට නොහැකිද? හැකියි. නමුත්  එය තේරුම් නොගැනීම හෝ තේරුම් ගන්නට ඇති හැකියාව මඳකමින් අප දුක් විඳිමින් සිටී. එසේම මෙය තේරුම් ගැනීමට හැකියාව ඇති උගත් බුද්ධිමතුන්ද අද අඳ ගොළු බිහිරන් මෙන් දුකේම ගැලෙමින් සිටීම කණගාටුවකි.

ආදරණීය දුවේ,  පුතේ අප සෑම කෙනෙකුගේ සුන්දරම කාලය වන්නේ ළමා කාලයයි. අප අපගේ ළමා කාලය කෙලි දෙලෙන් නිසි ලෙස ගත කළ යුතුසේම අනාගතය පිළිබඳවද පැහැදිලි චිත්‍රයක් මනස තුළ ගොඩ නඟාගෙන එම සිහිනය සැබෑ කරගැනීම සඳහාද උත්සාහ දැරිය යුතුයි.

එසේ නොවුනු තැන අනාගතයේ දී ඔබට හොඳ නායකයෙක්, උසස් තනතුරක් දරන පුද්ගලයෙකු හෝ සාර්ථක ජීවිතයක් ලබන්නෙකු වන්නට නොහැකිවනු ඇත. අවසානයේ ඔබ දොස්නඟා ගන්නේ ඔබට මෙන්ම ඔබේ ආදරණීය දෙමාපියන්ටය. මා කුඩා කල නිසි ලෙස අධ්‍යාපනය නොලැබීම නිසා අද මට මෙතැන ලැබී ඇත යනුවෙන් සිතන්නට වුවහොත් එහි ඇති වේදනාව ඔබට අද වුවත් සිතාගත හැකිය.

ආදරණීය දුවේ පුතේ ළදරුවෙකු ලෙස ඔබ දණගෑම,  ඇවිදීම, වචන කථා කිරීමට උත්සාහ ගැනීම නිරායාසයෙන් වුවත් නිසි ලෙස කර ඇත. ඒ හේතුවෙන් ඔබ අද සාර්ථකව ඇවිදියි, කථාකරයි. නමුන් ඉන් පසුව අද ඔබ කරන කියනදෑ ඔබේ වයසට ගැලපෙනවාද? ඔබ කළ යුත්තේ ඔබේ වයසට ගැලපෙන ලෙස ජීවත්වීමය. අධ්‍යාපනය මැනවින් ලබා ගැනීමය. එය ඔබේ අනාගත සාර්ථකත්වයේ අදිසි හිනිමගක්ම වනු ඇත. නිවසක් තනන්නට පෙර නිවසේ අත්තිවාරම මැනවින් දැමිය යුතු වෙනවා මෙන්ම ඔබ රැකියාවක නිරන වන්නට පෙර රැකියාව සඳහා අවශ්‍ය දැනුම් ලැබිය යුතුව ඇත. එය ඔබට ලැඛෙන්නේ පාසැල් අධ්‍යාපනයෙනි.

නමුත් අද වන්නේ අධ්‍යාපනය අතරමග දමා රැකියා පසුපස ගොස් එයද එපා වී ටික දිනකින් දරුවා නැවත නිවසට පැමිණීමයි. ආදරණීය දුවේ පුතේ මේ ලබාගත් ජීවිතයේ සතුටත්, දුකත් සමබරව විඳින්නට ඉඩ සළසා ගත යුතුව ඇත්තේ ඔබ විසින්මය. ඔබ මැනවින් ඉගෙන අනාගතයේ දී කිසිවකුට අතනොපා ජීවත්වීමට  රැකියාවක් තෝරා ගත හොත් ඉන් පසුව ඔබගේ මුළු ජීවිත කාලයම සතුටින් හා සාර්ථකව ගෙවීමට හැකියාව සැලසෙනු ඇත. එසේම ඔබ එම මාර්ගය තෝරා නොගැනීම තුළින් නැවත කිසිදිනෙක ගොඩ ඒමට නොහැකි ආගාධයකට ඇද වැටීමක් වනු ඇත. ආශාවන් ඇතිවුවද ඉටුකළ යුතු යුතුකම් මෙන්ම ළඟාවිය යුතු තත්ත්වයන්ද ඇත. මුලින් අප ඒ පිළිබඳව ද සිතිය යුතුය. බුදුන් වහන්සේ වරෙක දේශනාකොට ඇත්තේ,
 
   "  සබ්බේ පුථුජ්ජනා උම්මතතකා "

මේ ලෝකයේ සෑම මනුෂ්‍යයෙකුම උමතු වූවෝය

යනුවෙනි. ඉතින් අප කළ යුත්තේ පිස්සන් ලෙස හැසිරීම හෝ අකටයුතු කිරීමද? අපට භාරව ඇති කාර්යය එයද? නැත. දෙමාපියනි, අප උම්මත්තකයන් විය යුතු නැතග දරුවන් පිස්සන් කළ යුතුද නැතග ඔබ කළ යුත්තේ විමසිලිමත්ව කටයුතු කිරීම තුළින් ඔබේ දරුවා උගත් බුද්ධිමතෙකු කිරීමට උත්සාහ කිරීමය. මෙය එක් පුද්ගලයෙකුට එක් පවුලකට සිදු කල හැකි කාර්යයක් නොවන අතර සාමූහික ප්‍රයත්නයකින් සමාජය ගොඩගත යුතුව ඇත. එය ආරම්භ කල යුත්තේ පවුල් ඒකකය තුළිනි. මෙයට හේතුව නම් සමාජයේ දුක් විඳින පිරිස බහුතරයක් වීමත්, මේ තත්වයෙන් මුදවා ගත හැකි පහසුම මාර්ගය අධ්‍යාපනය හරහා නිවැරදි ජීවන මාර්ගයකට නැත්නම් උසස් ජීවන මට්ටමකට ඉදිරි පරපුර යොමුකිරීමත්ය. එසේ නොවන තාක්කල් අපට හෝ මට කිසිම දිනෙක සැපයක් නම් නැත යන වදන් අපට අසන්නට ලැඛෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී  මේ ලෝකයේ සතුටක් නැත. අපට කිසිමදාක සතුටක් විඳින්නට බැහැ. යනුවෙන් ලතැවෙන පිරිසක් අරභයා  මෙසේ දේශනා කළ සේක.

සුසුඛං වත ජීවාම
වෙරිනේසු අවේරිනො
චෙරිනේසු මනුස්සෙසු
විහරාම අවේරිනො 


සතුටින් දිවි ගෙවන්නට කැමති සෑම කෙනෙක්ම වෛර කරන්නවුන් අතරත් ක්‍රෝධ කරන්නවුන් මෙන්ම ඊර්ෂ්‍යා කරන්නවුන් අතරත් අවෛරී පුද්ගලයන් ලෙස ක්‍රෝධ නොකරන මිනිසුන් ලෙස හා ඊර්ෂ්‍යා  නොකරන්නවුන් ලෙසත් ජීවත්විය යුතුය.

එවිට  ඔබ සොයන නියම සැපය විඳින්නට හැකිවනු ඇත. එහෙත් ඔබ සෑම කෙනෙකුම සැපයක් යන වදන පමණක් ප්‍රකාශ කරමින් හා කෑ ගසා කියමින් ගිණි අගුරු වලකට පිච්චෙනවා යැයි පවසමින් සිටි පමණින් කවමදාවත් සැපයක් විඳින්නට නොහැකි වනු ඇත. එසේ නම් ඒ සැපය විඳින්නට ඔබ සිටි ගිණි අගුරු වලෙන් ගොඩට විත් සිසිල් ජලයේ කිමිදිය යුතුය ඇත. එසේ නොවන්නට ඒ තැනැත්තාට කිසිදු මොහොතක සැපයක් හා සැනසුමක් හෝ සතුටක් විදින්නට නොහැකි වී මේ සසර ගමනේ කෙලවරක්ද දකින්නට නොහැකි වනු ඇත.

ආදරණීය අම්මේ තාත්තේ,  දූ පුතුනි,  වැඩිහිටියනි,  මඟ හොඳට ඇත්නම් බොහෝ දිගු ගමනක් තනිවම වුවත් යන්නට ශක්තිය ධෛර්යය වාසනාව මෙන්ම උනන්දුව ඇත්නම් යා යුතු ස්ථානයට කෙතරම් බාධක, ගැටුම්, වැටුම්, ගැරහුම්, නින්දා, අපවාද පැමිණියත් ඒ ගමනේ කෙළවරක් දක්වා උත්සාහවන්තයා ගමන් කරනු ඇත. නමුත් අලසයා කිසිදු මොහොතක තමන් කළ යුතුමෙයයි. නොකල යුතු මෙයයි වදන් තෙපලූවත් එය තේරුම් ගන්නට මිසක්, ඔහුගේ සුරවිමන වන ඇඳ මත සැතපෙනවා ඇරෙන්නට වෙනත් කිසිදු කාර්යයක් කරන්නට උත්සාහ නොගනු ඇත. එහෙත් සමාජගත පුද්ගලයින් යම් පිරිසක් මෝඩයින් බව දැන දැනත් උගතුන් යැයි සැළකෙන යම් ප්‍රමාණයක් හෝ බුද්ධිය තිබේ නම්, මැනවින් විමසාබලා කටයුතු කරන්නට උත්සාහ ගත යුතුව ඇත. එසේ නොවන තාක්කල් මෙම සමාජ පරිසරය තුළ උගතුන් ලෙස සැලකෙන මෝඩයනුත් මෝඩයන් ලෙස සැලකෙන මෝඩයන් අතරම ඉපිද  ඔවුන්  අතරම දුකින් දිවිගෙවා මිය යන්නට සිදුවනු ඇත. එහෙත් ඒ ජීවිතයේ ඵලයක් තිබේද?

වත්මන් සමාජගත දෙමාපියන්ද බොහෝ කොට උත්සාහ දරනුයේ ඔවුනොවුන්ගේ සුඛ විහරණය තකා මුදල් වියපැහැදම් කිරිම පමණි. එහෙත් මෙසේ වියපැහැදම් කිරීමෙන් තම දරුවන්ගේ අනාගතය අඳුරු වන බව සිතන්නට තරම් ශක්තිය නොමැතිවී ඇත. දෙමාපියන්ගේ සුඛ විහරණය සහ සිතුම් පැතුම් ආශාවන් සියල්ලක්ම සන්තර්පනය වූ පමණින්ම ඔවුන්ගෙන් සමාජයට දායාද වූ දූ පුතුන්ගේ අනාගත සිතුම් පැතුම් මෙන්ම පරමාර්ථයන්ද සන්තර්පනය වන්නේ දැයි එම දෙමාපියන් විසින් මැනවින් විමසා බැලිය යුතුය.

මාපිය දෙපළ සතුව කෙතරම් ධන සම්භාරයක් තිබුණද එසේම ඔවුන් සතුව ධන සම්පත් හා සමානව දැනුම් සම්භාරයක් තිබුණද එම වස්තු සියල්ලෙන්ම ඔවුන්ගේ දූ පුතුන්ට ඵල ප්‍රයෝජනයක් ගන්නට හැකියාව ඇත්තේ එම දූ දරුවන්ගේ උගත්කම හා නූගත්කම මතයි. එම අවස්ථාව තුළදී උගත් දරුවෙකු නම් තම දෙමාපියන් සතුව ඇති වස්තුව  නිසි පරිදි විය පැහැදම් කොට තම අනාගතයද මැනවින් සකසා ගෙන ඔවුන්ගෙන් දායාදවන දරුවන්ගේ අනාගතයද මැනවින් නිර්මාණය කරනු ඇත. එහෙත් නූගත් දරුවෙකුට මාපිය දෙපළගෙන් කෙතරම් මුදල්හදල් ලැබුණත් ඒ සියල්ලෙන්ම කිසිදු ඵල ප්‍රයෝජනයක් ගන්නට ඔහුට හැකියාවක් නොමැත. ඒ තුළ ඔහු සතු වූ වස්තු සම්පත් නිසාත් ඔහුගේ නූගත්කම මතත් බොහෝ මිනිසුන් පිරිසකට ඔහු පිළිලයක් වනු ඇත. එය අද සාමාජය තුළින් මැනවින් දැකගත හැකිය. එය දැක දැකත් නොදකිනා මිනිසුන් ලෙස දිවි ගෙවනවා ඇරෙන්නට යහපත් ලෙස දිවි ගෙවන්නට උත්සාහ දරන්නේ කවුරුන්ද? එයට හේතුවක් ලෙස මුල් බැසගෙන ඇත්තේ කුමක්ද? සෑම පුද්ගලයෙකු සතුවම ඔහුගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන ශක්තිය මෙන්ම අවශ්‍ය කරන සැකසුම් සියල්ලක්ම මොළය තුළ ගැබ්වී ඇත. අවශ්‍ය කරන්නේ තමන් සමාජයෙන් ලබාගන්නා ලද අද්දැකීම් තුළින් හා පාසල තුළින් ලබා ගන්නා අධ්‍යාපනය මත අනාගත පරමාර්ථයන් හා ආශාවන් ඉටුකර ගැනීම සඳහා උත්සාහයෙන් යුතුව ක්‍රියාත්මක වීම පමණි. තමන්ට සමාජය තුළ කිසිදු කාර්යයක් කරන්නට බැහැ යන පරමාර්ථය සිතේ තබාගෙන සිටින තාක්කල් සැපයක් හෝ සැනසුමක් විඳින්නට නොහැකිවනු ඇත.  තමන්ගේ සුඛ විහරණය ලබාගැනීමට අවශ්‍ය නම් කළයුතු එකම කාර්යය වන්නේ සිතින් සිතා නුවණින් විමසා හොඳ නරක කුමක්දැයි වටහාගෙන තමන්ගේ නිරෝගිමත් කයෙන් නිවැරදි කාර්යයන්හි නිරතවීම පමණිග එහෙත් අද සමාජගත පුද්ගලයින් කෙතරම් මොළය තිබුණත් සිත තුළ පවතින මුලාව හා අලසබව නිසා කිසිදු කාර්යයක් ගැන වැඩිදුර සිතන්නට නොපෙළඹෙනු ඇත. ඒ මත මොළයෙන් කරන ක්‍රියාකාරකම් සියල්ලක්ම අඩපණවී තමන් සමාජය තුළ දුක් විඳින අමන ගති පැවතුම් පුද්ගලයෙකු ලෙස දිවිගෙවනු ඇත. ඒ ගෙවන ලද ජීවිතය ඔබට මෙන්ම  සමාජගත පරිසරයටද හිරිහැරයක් හා කරදරයක් වනු ඇත. ඒ මඟින් සමාජය තුළ දිළිඳු පවුල් බිහිවනු ඇත. ඒ බව චක්කවත්ති සිහනාද සූත්‍රයේ දී මෙලෙසින් දේශිතය.

   අධනානං ධනේ අනුප්පදිය මානේ දාළිද්දියං වේපුල්ල මගමාසි
   දාළිද්දියෙ වේපුල්ලං ගතේ අදින්නානං වේපුල්ල මගමාසි
   අදින්නාදානෙ වේපුල්ලං ගතේ සත්ථං වේපුල්ල මගමාසි
   සත්ථෙ වේපුල්ලං ගතේ පණාතිපාතෝ වේපුල්ල මගමාසි
   පාණාතිපාතෝ වේපුල්ලංගතේ මුසාවාදො වේපුල්ලමගමාසි


ධනය නැති දිළින්දන්ට ධනය නැති ධනෝපායන මාර්ග අහිමිවීම නිසා දුප්පත්කම වැඩි විය. දුප්පත්කම වැඩිවීම නිසා සොරකම ඇතිවිය. සොරකම ඇති වීම නිසා භයානක ආයුධ ඇති විය. ආයුධ ඇතිවීම නිසා ප්‍රාණඝාතය ඇති විය. ප්‍රාණඝාතය නිසා බොරු කීමට පෙළඹිය. ඉන් අනතුරුව ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය ආදී දුසිරිත් බහුල වී එහි ප්‍රතිඵලයක් ලෙස ආයුෂ පිරිහී විපත් වැඩිවිය.
මේ ආදී කරුණු දෙස විමසා බලන විට පසක් වනුයේ මිනිසාගේ විමුක්තිය නසා ගන්නා එකම කෙනා මිනිසාම බවය. සිතන්නට පුළුවන් මනසක් ඇතිව උත්පත්තිය ලැබුවත් පවුල තුළ සිදුවන නොයෙකුත් අකටයුතුකම් නිසාවෙන් කුඩා කාලයේ දීම දූ දරුවන්ගේ මනස විකෘතිවනු ඇත. කුඩා කාලයේදී කුඩා ලෙස විකෘති වූ මනස අනාගතයේදී සමාජයේ  බිහිසුනු කාර්යයන් සඳහා සම්බන්ධවන විකෘති පුද්ගලයෙකු හා බිහිසුනු අවිආයුධ පරිහරණය කර සමාජය තුළ ප්‍රාණගාතය, සොරකම් ආදී ක්‍රියාවන් සඳහා සම්බන්ධ වන පුද්ගලයෙකු අයුරින් නිර්මාණය වනු ඇත.

මේ කරුණු කාරණාවන් මැනවින් දේශනා කළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ මෙන්ම ලෝකයේ නිර්මාණය පිළිබඳව මැනවින් දේශනා කල අග්ගඤ්ඤ සූත්‍රයේදීද මේ බව දේශිතය. එහෙත් මෙම කරුණු කාරණාවන් දැන දැනත් නොදන්නා පුද්ගලයන් ලෙස ජීවත්වන නිසා දුක්ඛිත අන්ත අසරණ ජීවිත ගෙවනු ඇත. සර්පයාගේ වල්ගයෙන් ඇල්ලු පසු සර්පයාට දෂ්ඨ කරන්නට හැකියාව ඇති බැව් දැන දැනත් එම වල්ගයෙන් අල්ලන්නට යනවාද? එසේත් නැතිනම් සර්පයාගේ හිසින් අල්වාගෙන අවශ්‍ය පරිදි අවශ්‍ය කටයුතු සිදුකර ගන්නවාද යනවග අප අපගෙන්ම විමසා බැලිය යුතුය. මේ කරුණු කාරණාවන් තුළින් හෙළි කරන්නේ සාමාජීය ජීවියා දැන දැන නොමග යන බවයි. අකුසලයක් කළහොත් එතැන දී දුකක් විඳින්නට සිදුවන බව දැන දැනත් එම ක්‍රියාවලියම සිදුකරනවාද? යනබව ඔබ ඔබගෙන්ම විමසා බලා නිවැරදි කාර්යය කිරීම ඔබ සතුව පවතී.

දරුවෙකු උප්පත්තිය ලබන පවුල් ඒකකය තුළ ප්‍රධාන චරිතය වන්නේ මාපිය දෙපළය. එම දෙපලගේ ගැටුම් හේතුවෙන් දූ දරුවන්ගේ මානසිකත්වය බිඳ වැටෙනු ඇත. එම බිඳ වැටීම දරුවන්ගේ සමස්ථ අනාගතයම අඳුරු කරනු ඇත. දරුවන් විභාග සඳහා පෙනී සිටින මොහොතක ඔවුන්ගේ සිත් සතන් සනසන්නට නොයෙක් දේවාල කරා යන්නටත් නොයෙකුත් යන්ත්‍ර මන්ත්‍ර ගෙල පළදන්නටත් එම කාර්යයන්   සිදු කොට දරුවන්ට ආශිර්වාද ලබාදෙන්නටත් උත්සාහ දරයි. එසේ කරන්නට සිදුවනුයේ පවුල් පරිසරය තුළ ඇති වූ අර්බුද හේතුවෙන් දරුවාගේ මානසික ස්ථාවරත්වය බිඳවැටීම හේතුවෙනි. එම කාර්යය මෑණියන්ට බතක් පිසගන්නට නොහැකිව වෙළඳසලකින් ආහාර ගෙනවිත් කුසගිනි නිවා ගන්නට උත්සාහ කරන්නාක් මෙනි. එහෙත් එම වරදට වගකිව යුත්තන් කවුරුන්ද? එසේම මෙයද විමසා බැලිය යුතුය. කිරි ඉල්ලා ඉකිබිඳින පුංචි බිලින්දන්ට බෝනික්කන් අතට දී නලවන්නාක් මෙන් කටයුතු කිරීමෙන් වැළකෙන්නට මනසින් උසස් මිනිසුන් වන අපට නොහැකිද? ආදරණිය අම්මේ, තාත්තේ ඔබ නොහොඹිනා අකටයුතුකම් කරන නිසාවෙන් ඔබේ දුවගේ හෝ පුතාගේ මානසික නිදහස වෙනත් අඳුරු මාවතක් ඔස්සේ ගමන් කරනු ඇත. දෙමාපිය දෙපළ නිවස තුළ නිතරම සණ්ඩු සරුවල් කරන විට ඉගෙනුම ලබන දූවා දරුවන්ට මහත් කරදරයකි. එවිට එම දුව හෝ පුතා ඒ පිළිබඳව කල්පනා කිරීමෙන් මන්දොත්සාහී තත්ත්වයකට පත් වනු ඇත. එවිට ඒ දුව හෝ පුතා ඉගෙනීමේ කටයුතුවල හා සමාජීය කටයුතුවල යෙදීමේදී දුර්වල පුද්ගලයෙකු වනු ඇත. එම දුර්වලභාවය නිසාම දෙමව්පියන් එයට පිළියම් යොදන්නේ කෙසේද? තම දරුවාට අපල යැයි රටපුරා කියමින් යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් අවොල් දෙවොල් පැවැත්වීමයි.

නමුත් ආදරණීය අම්මේ, තාත්තේ ඔබ ඔබේ දුවට හෝ පුතාට යන්ත්‍ර දැමීමෙන් හෝ පුදපූජා වට්ටි භාර හාර පැවැත්වීමෙන් පමණක් විභාග සමත් වන්නට නොහැකි වනු ඇත. ඒ  ඒ විෂයයන් සියල්ලටම අවශ්‍ය කරන කරුණු ඒ ආකාරයෙන්ම මැනවින් අධ්‍යයනය කිරීම තුළින් හා අවබෝධය තුලින් විභාගය ඉහලින්ම සමත් වන්නට හැකියාව ඇත. එහෙත් දේවාල ගානේ ගොස් කපු මහතුන් පොහොසත් කළ පමණින්  විභාගය සමත් වන්නට හැකියාවක් නොමැති බව හොඳින් තේරුම් ගත යුතුය. කවරෙකු හෝ එම ක්‍රියාවලියේ යෙදෙන්නේ නම් එම තැනැත්තා මන්ද බුද්ධික පුද්ගලයෙකි. මේ කරුණු පිළිබඳව විමසන්නේ නම් අවුරුදු ගණන් විමසිය හැක. එහෙත් එම විමසීමේ කෙළවරක් දැකිය නොහැක. එසේම එම විමසීමෙන් ලබන ඵලය නිවැරදි ඵලයක් වේදැයි මටම  විශ්වාස කළ නොහැකිය.

අප සෑම කෙනෙකුම ගෙවන මේ දිවි ගමනේ අවසානය සතුටින් ගෙවන්නටත්, එම කාලපරාසය තෘප්තිමත්ව ගත කිරීමටත් නිවැරදි අරමුණක හැසිරෙන්නටත් උත්සාහ දරමු. එසේ නොවන තාක්කල් මේ ලෝකයේ ජීවත්වන දූ පුතුන් සැම දෙනෙකුටම දුක්ඛිත අන්ත අසරණ කිසිදු හව්හරණක් නැති දිවියක්ම උරුම වනු ඇත.

සතුටක් ලෙස කියාගත් දුක රැඳුනු ජීවිතයක් ගත කිරීමට වඩා සතුටක් ලෙස සිතට දැනෙන මානසික සැහැල්ලූවකින් හා කායික තෘප්තියකින් යුත් සදාකාලික සැනසීමක් ලබා ගන්නටත් උගතුන් ලෙස මේ ලෝකය බබුලුවන්නටත් හැකි දූ පුතුන් ලෙස මතු අනාගතයේ ලොව ජය ගන්නටත් හැකි දරු පිරිසක් බිහිවේවා යැයි පතමි. එය මාගේ පරම පැතුම මෙන්ම පරමාර්ථයයි. එහෙත් එම පැතුම ඉටු කරන්නට හා සඵල කරන්නට කවරෙකු නම් මෙම සමාජයේ සමත් වේදැයි මටම පැනයක් කෙදිනක හෝ උපදිනු ඇත. එම පැනයටද පිළිතුරක් සපයන්නට මා විසින්ම උත්සහ දරනු ඇත. 

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::