:: කිසිදු මොහොතක කිසිදු අයුරකින් තෘප්තියකට පත් නොවන්නා වූ ::

කිසිදු මොහොතක කිසිදු අයුරකින් තෘප්තියකට පත් නොවන්නා වූ මනුෂ්‍යය නැමති සත්වයා විසින් ගෙවන්නා වූ ජීවිතය තුළ ලබන්නට අවැසි යැයි සිතන්නා වූද පතන්නා වූද බොහෝ සැප සම්පත් ඇත. එසේම ඒ සියල්ලම ස්වකීය චින්තනයට අනුකූලව ඉටු නොවුනු සද සියදිවි හානි කරගන්නටත් අන්‍යයන් හා ගැටෙන්නටත් සමහරෙක් ඝාතනය කරන්නටත් බොහෝ ලෙස පෙළඹෙනු ඇත. ඒ පෙළඹීම සිදුවන්නේ කවරාකාරයෙන්ද යන වග අප සිතින් විමසුම් ඇසට යොමු කරන්නට සුදුසුම කාලයයි.

මේ සමාජය තුළ දිවි ගෙවන ලද බොහෝ සත්වයින් පිරිසක් මීට ඉහත දිවි ගෙවන ලද්දේ ඔවුනොවුන්ගේ බඩවියත රැක ගැනීමේ පරමාර්ථයෙන් මිසක් වෙන කිසිදු පරමාර්ථයකින් නොවන වග අප දනිමු. එහෙත් ඔවුන් මනා මානසික මෙන්ම කායික තෘප්තියකින් ඔවුනොවුන්ගේ දිවි පෙවෙත ගෙවන ලදි. එයට වඩා හාත්පසින්ම වෙනස් මානසිකත්වයකින් හෙබි නූතන සමාජගත සත්වයාගේ චින්තනය කුමක්ද? නූතන සත්වයා නිමවාගෙන ඇති චින්තනය ඔවුන්ට දරාගත නොහැකි චින්තනයකි. අද මේ මොහොතේ රුපියල් දහයක් අතැති පුද්ගලයා ඊලග මොහොතේ එය රුපියල් විස්සක් හෝ ඊටත් වඩා දෙගුණ තෙගුණ කරගන්නට වෙර දරන්නට පෙළඹී ඇත. මෙයට හේතුව කුමක්ද? ඔවුනොවුන් සිතන්නේ මම මේ විදින සැපය කුමක්ද? මීට වඩා සැපයක් සැනසීමක් අසල්වැසි නිවසේ උදවිය විදිනවනේ. මේ ආදී වශයෙනි. එහෙත් ඒ චින්තනය ඔබව විනාශයට පත්කරන්නට වුවත් පෙළඹෙනු ඇත.

ඔබ මොහොතක් සිතන්න ඔබ මේ කවන්නෙ පොවන්නේ කවරෙකු සතු ශරීරයකටද? මෙය කවරෙකුගේද? මේ අයුරින් සිතන කළ ඔබගේ මනස ඔබටම කියාවී මේ ඇස කන නාසය දිව ශරීරය තුළට මැදි වූ විඤ්ඤාණය නැමති මායාකාරයා විසින් අපව මොන තරම් මායාවකට ඇද දමා ඇතිද යන වග. අප සියලූම දෙනා මායාවක පැටලි ඇත. එසේ නම් ඒ මායාව ඇති වුනේ කවරාකාරයෙන්ද? ඒ මායාව ඇති කරනලද්දේ ඔබගේ ශරීරයට අවසෝසනය වූ විඤ්ඤාණය නැමති මායාකරයා විසින්ය. ඔහු අපගේ ශරීරයට ඇතුල්වීමෙන් අනතුරුව අපගේ ශාරීරයේ ඇති පංචඉන්ද්‍රියන් තුළට නොයෙකුත් ආශාවන් ඇති කර ඒ හමුවේ අපව පරාජිතයෙකු මෙන්ම කාමුකත්වයෙන් පෙලෙන වහලෙකු අයුරින් හසුරුවයි. ඒ නිසාම ඔබගේ සියලූම යහපත් මානසික කි්‍රයාකාරිත්වයන් සියල්ලක්ම මුග්ධ සිතුවිලි අයුරින් නිමැවෙනු ඇත . එසේම අපගේ ශාරීරික අවශ්‍යතාවයන් ඒ අයුරින් නොනිමැවෙන කල්හී සිතට දැඩි වෙහෙසක් හා පීඩාවක් ඇති කොට තමන් වෙත අන්‍යයන්ගේ අවධානය යොමු කර ගැනීම සදහා සියදිවි නසා ගැනීමාදී කි්‍රයාවන් සිදු කරයි. මෙය මේ අයුරින් සිදු වන්නේ නම් ස්වකීය චින්තනය සතු දැනීම යහපත් නොවූ නිසා බව අපට පසක් වනු ඇත .

Komentar

Postingan populer dari blog ini

මෛත්‍රී වර්ණනාව/මෙත් ගුණ වරුණ

ඔබ ඔබේ දිවිය තුළ ඉගෙනුම නැමති පහන් සිල දල්වන්න

:: සමාජයට මුදහරින වදන් යහපත් වන්නේ නම් ::